සමරු සටහනක්

                                 

දයාබර දුවේ, පුතේ,


එකා පස්සේ එකා ඇවිත් දික් කරන ඔටෝවල ලියන්න තරං ලස්සන දෙයක් උඹලගේ සර්ට නෑ. අනික සර් කවදාවත් ඔටෝවල ලියන්නේ නෑ. උඹලගේ ලෝකේ පුරවං ඉන්න මං ගත්ත උත්සාහය ටිකක් හරි හරිගියා කියලා හිතෙන්නේ මෙහෙම අවසාන වෙලාවේ දාහක් දේවල් එක්ක මටත් පොඩ් වැදගත්කමක් දීල තියෙන එක ගැන හිතනකොට. හැමදාම වගේ අදත් මට ඇත්ත තමයි කියන්න වෙන්නේ. පොතක තිබුන ලස්සන කතාවක් වත් ,කෙනෙක් කියලා තියෙන කතාවක් වත් නෙවෙයි. සම්පුර්ණයෙන් 100% උඹලට අත් දකින්න වෙන දේවල් ටිකක් කියන්නම්.

අවුරුදු 11 ඉස්කෝලේ ඇවිත් නේද දැං??? කොච්චර නං අත් දැකීම් ඉස්කෝල මායිම ඇතුලේ ලබන්න ඇත්ද? ඒ හැමදේම අද මතක් වෙනවද??
පොදු දේපල රැක ගන්න කියලා උදේ රැස්වීමේ කතා කරලා තුංවෙනි පීරියඩ් එකේ බිත්තියේ තියෙන බල්බ් එක ගලක් ගහලා කඩලා දැම්මා නේද? අපේ ඇහැ වහලා පොල් ගෙඩියේ ඉදං වරකා ගෙඩියේ ඉදං බිලිං ගහ දක්වාම කිසිම දෙයක් ඉතුරු කලාද? මගේ ඇහැ ඉස්සරහා බාබා වෙලා ලියුං කීයක් ලීවද කෙල්ලනේ?? සිංහල සාහිත්‍ය සමීතිය, මරනවා වගේ කියපු ඉංග්‍රීසි සමිතිය, ගොඩක් දවස්වල බැනුම් අහපු උදේ රැස්වීම, අපිම උයං කාපු ට්‍රිප් එක, පරිගනක විද්‍යාගාරය, ග්‍රව්‍රන්ඩ් එක, පැනලා නාපු ගග හැමදේම මතක්වෙනවා නේද?? පංති එනවා කියලා ඇවිත් පංතිම ආවද අවුරුද්ද පුරාම. ආවනං ලකුනු ඇති නේද දැං සතුටු වෙන්න පුළුවන් මට්ටමින්. ඔය හැමදේම මතක් වෙනකොට උඹලට ඇඩෙනවා වගේ සර්ත් හදවතින් ගොඩක් දුක්වෙනවා. එදා සර්ගෙන් ගුටි කෑවනං ඒ වැරදි වලට අද මොකද හිතෙන්නේ අවුරුදු එකොලහ ගෙවුනට පස්සේ….

අපි උඹලට ගැහුවා නං ගැහුවේ ආදරේට. බැන්නා නං බැන්නෙත් ආදරේට. වැඩිහිටියංගේ බැනුම්, දඩුවම් බොහෝ වෙලාවට උඹලට තියෙන ආදරේ තවත් එක් ආකාරයක් විතරයි. උඹලට වඩා අත් දැකීම් තියෙන අය යමක් කීවම ඒක පිලිගන්න ගතිය හෝ එක ගැන කල්පනා කරන්න තත්පරයක් ඉදිරි ජීවිතේ වෙන් කරපල්ලා. ආදරේ කව්ද නැත්තේ කව්ද කියලා තෝරබේරගන්න තාමත් නං මේරුවා මදි. අවුරුදු 16 කියන්නේ මහලොකුවයසක් නෙවෙයි. ඒත් හරිම පරිස්සමින් මිනිස්සු ආශ්‍රය කරපල්ලා. අපි ඉස්කෝලෙදී වරදක් උනාම දඩුවමක් කරලා අවවාද කරලා හිත හදලා අත හැරියට පිටදී හම්බවෙන සමහරු වැරදී කලාමත් තෑගි දෙයි. නරක දේ හොදයි කියයි. දැං ඉන්නතරමක් ඉන්නේ ඒවගේ කාලකන්නි මිනිස්සු සමාජයේ. ඒ නිසා විනයක් ඇතුව, දැක්මක් එක්ක ඉස්කෝලෙන් එලියට යන උඹලට තමංගේ හිත පාවලා දෙන්න තමංටම ඉඩ තියන්න එපා. නරක දේ නරකයි. දගවැඩ වලට ඉස්කෝලේ වගේ නෙවෙයි පිටදී ලැබෙන ප්‍රතිචාරය. ඒක අමතක කරන්න එපා.
අදින් මාසෙකට පස්සේ උදේ හත හමාරට බුදුන් වදින්න වෙන්නේ නෑ. කමිසේ මැදලා යට කරලා සපත්තු පොලිෂ් කරලා,කොන්ඩේ කපලා පැත්තට පීරලා ඉන්නවද කියලා බලන්න ශිෂ්‍යනායකයෝ නෑ. ගවුමේ රැලි ගැන හිතන්න දෙයක් නෑ මොකද ඒ ගවුම ඇදං ආපහු කරන්න දෙයක් නෑ. නමුත් අපි කියලා දීපු දේ ඉගෙන ගත්තා නං මිනිස්සුන්ගෙන් වචනයක් නාහා ඉන්නව නං ඒකයි වැදගත්.
නීතිරීති කඩනකොට හරි ආතල්. සමාජෙ පිලිගන්නේ නැති දේවල් කරලා මිනිස්සු අතර කතා බහවෙනකොටත් ටිකක් මාරයි වගේ. ඒත් පැවැත්මක් නැත්තං කිසිමදේකින් වැඩක් නෑ. බොරුවට අලුත් අලුත් මලාදන පස්සේ පන්න්න එපා. ජීවිතේ ගොඩයන හැටියක් බලපල්ලා.
ජීවිතේ දිනන්න විභාගපාස් කරන්නම ඕන නෑ.උත්සාහයයි වැදගත්. මැලිබන් මුදලාලි පෙට්ටියක් ඔලුවේ තියං බිස්කට් විකුනලා තියෙන්නේ මුලිං. ඒත් අද තත්වේ කොහොමද?? වෘත්තීය පුහුණු එකේ කෝස් එකක් කරන්න. තමං කැමති රැකියාවක් කරන්න කලිං ඒ ගැන ඉගෙන ගන්න. ඊට පස්සේ යමක් කරන්න. තේ ඉඩමටම සින්න වෙන්න එපා. ඒක කරන ගමන් වෙන මොනාහරිත් කරන්න. සල්ලි පරිස්සමින් වියදං කරන්න. මොකද අම්මයි තාත්තයි දුක්විදලයි සල්ලි හොයන්නේ. ඒක අද වෙනකං තේරුනේ නැත්තං දැංවත් හිතන්න.
කෙල්ලෝ ටිකට විශේෂ දෙවල් ටිකක් තියේ කියන්න. ලෝකේ ලෙඩක් නැති ගෑනුන්ට පිරිමි ඕන. ලෙඩක් නැති පිරිමින්ට ගෑනු ඕන. නමුත් තමං ගැහැනියක් ඌ නිසා අපේ වගේ සමාජක්‍රමවල දී අසාධාරනයට ලක් වෙන්න වෙනවා මයි. ඒක හංගගෙන කතා නොකර ඉන්න එපා. ඒව කතා කරන්න ආත්මශක්තිය ඇති කර ගන්න. දවසක ඔයාගේ මිනිපිරීට ඔයාට තියෙන ප්‍රශ්න නැති වෙයි එතකොට. පිරිමි විශ්වාස කරන්න එපා. කරලා පසුතැවෙන්නත් එපා. මගේ එකම ඉල්ලීම ඔයාගේ තාත්තට,පිරිමි සහෝදරයන්ට, තවත් පිරිමියෙක් ඉස්සරහා ඔලුව පහත් කරං කතා කරන්න වෙන තත්ව ඔයා නිර්මාණය කරන්න එපා. අම්මටත් බොරු කියන්න එපා නොකියම බැරිනං ටික දවසකින් හරි ඇත්ත කියන්න.
හැම පෝය දාටම සිල්ගන්න ඕන තව කාලෙකින්. ඒත් පන්සලට යන්න. හාමුදුරුවන්ට කතා කරන්න අමතක කරන්න එපා. සමාජය පිලිගත්ත ක්‍රම වලට සතුටු වෙන්න. ගැටලුවකදී ඉස්කෝලෙට ඇවිත් උදව් ඉල්ලන්න. කවදාවත් බෑ කියන්නේ නෑ.
ඉතිං මං බලං ඉන්නං උසස් පෙළ පංතියේදී ආපහු දකින්න. හැම කෙනාටම ඒ වාසනාව හිමිවෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. එතන ඔයා නැත්තං දුක නං හිතෙයි ගොඩක්. ඒත් මාව හොයා ගන්න පුළුවන් ක්‍රමේකට හොයං කරනදේ ඉන්න තැන ගැන පොඩි මැසෙජ් එකක් තියන්න. බොහෝවිට මේ බ්ලොග් එක හැමදාම තියෙයි. ඉතිං අපි වෙන්වෙමු. වෙන මුකුත්ම නිසා නෙවෙයි. ආපහු හමු වෙන්න ඕන නිසා.

 

_PSP කුමාර_

1 comment :

  1. Best Casino Sites - Mr. DMC
    The 전라북도 출장샵 best 밀양 출장마사지 online 아산 출장마사지 casinos and games from a casino, bookmaker or bookmaker. Choose from hundreds of slots and table games, Bonus: 100% up to 익산 출장안마 $1,000Bonus: 100% 순천 출장샵 up to $1,000

    ReplyDelete